පෞද්ගලික ජීවිතයත් ව්‍යාපාරික ජීවිතයත් සමතුලිතව පවත්වා ගන්නේ කෙසේද?

‘’කොහොමද අනේ ඔයාලා සතිඅන්තයේ මෙහෙම විනෝද චාරිකා යන්නේ… බිස්නස් එකේ මෙච්චර වැඩ තියෙද්දී….’’

අප සියලු දෙනා ජීවිතය අත්විදිනුයේ සංකීර්ණ වූත් අභියෝගාත්මක වූත් අවස්ථාවන් රැසක් මධ්‍යයෙහිය. මෙම අවස්ථාවන් සියල්ලටම කෙසේ හෝ මුහුණ දෙමින් ජීවිතය ඉදිරියටම ගමන් කරන්නේ සාර්ථක ජීවිතයකට ඇති අවශ්‍යතාවය නිසාවෙනි. තම පෞද්ගලික ජීවිතය මෙන්ම ව්‍යාපාරික ජීවිතයත් සාර්ථක කරගැනීමට නම් එහි ඇති සමතුලිත බව එක ලෙස පවත්වාගෙන යාම ඉතාම වැදගත් වේ.
රැකියාවක නියැලෙන ඕනෑම අයෙකුට එකී රැකියාවේ ඇති කාර්යබහුලත්වය නිසාම බොහෝ විට එය වෙහෙසකර කාර්යයක් වනු ඇත. වර්තමානයේ බොහෝ පුද්ගලයන් තම පෞද්ගලික ජීවිතය පසෙකලා රැකියාවටම කාලය කැප කරන්නේ එහි ඇති අධික කාර්යබහුලත්වය නිසා වෙනි. එසේනම් ඔබේ පෞද්ගලික ජීවිතය කෙරෙහි එල්ල වන මෙම බලපෑම් සහගත තත්ත්වයෙන් මිදී ව්‍යාපාරික ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සමබරව පවත්වාගෙන යා හැකි ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දීමටයි අද අපේ සුදානම.
වර්තමානයේ වේගයෙන් වර්ධනය වන ව්‍යාපාරික ලෝකය තුළ රැකියාව හා ජීවිතය සමතුලිතව පවත්වා ගෙන යාම අසීරු කාර්යයකි. එය පහසු කර ගත ඇති ආකාර කිහිපයක් මෙසේ සඳහන් කළ හැකිය.
1) වැඩ කරන කාලය අඩු කරන්න. ඒ සඳහා නිසි ක්‍රමවේදයන් සොයාගන්න.
2)
දිනපතා හෝ සතිපතා ඔබට පැවරී ඇති කාර්යයන් නිසි පරිදි සැලසුම් කරන්න. ඒ සඳහා කාල සටහනක් සාදා ගන්න.
3)
පවුලේ අයගේ සහ මිතුරන්ගේ විනෝදාස්වාදය සඳහා කාලය වෙන් කරන්න.

1) වැඩ කරන කාලය අඩු කරන්න. ඒ සඳහා නිසි ක්‍රමවේදයන් සොයාගන්න.
කාර්යාලය තුල අතිකාල වැඩ කිරීම, නිවසේ දී කාර්යාල වාර්තාවන් සකස් කිරීම, සතිඅන්තයේ අමතර රැකියාවක් කිරීම වැනි ක්‍රියාවන් ඔබේ පවුල හා හිතමිතුරන් අතර තිබෙන සබඳතාව දුරස් වන්නට ඇති ප්‍රධාන හේතු කිහිපයකි. මෙම ක්‍රියාවන් නවතා දැමීම හෝ ඒවා නිසි පරිදි කළමනාකරණය කිරීම තුළින් රැකියා කටයුතු සඳහා ඔබ වැය කරන අමතර කාලය ඔබට ඔබේ පවුලේ අය හෝ මිතුරන් වෙනුවෙන් යොදා ගත හැකි වේ.එමෙන්ම බොහෝ පුද්ගලයින් නිවසේ දී රැකියා හවුල්කරුවන් සමඟ යොදා ගන්නා දුරකථන සංවාද නතර කිරීමත් ඒවා කාර්යාල වේලාව තුළ පමණක් ලබා ගැනීමට කටයුතු කිරීමත් මගින් ඔබට ඔබේ වටිනා කාලය ඉතිරි කරගත හැකි බව හොඳින් මතකයේ තබාගන්න. මෙය ඔබට ඔබේ වැඩ පැය ගණන අඩු කරගත හැකි ඉතාමත් වැදගත්ද ක්‍රමවේදයක් වේ.

2) දිනපතා හෝ සතිපතා ඔබට පැවරී ඇති කාර්යයන් නිසි පරිදි සැලසුම් කරන්න. ඒ සඳහා කාල සටහනක් සාදා ගන්න.
ඔබ වැඩ කරන පැය ගණන අඩු වුවද, සමහර අවස්ථාවලදී පවුලේ සැලසුම් හා මිතුරන් අතර සමබරතාවයක් පවත්වා ගැනීමට නොහැකි වනු ඇත.ඊට හේතුව අක්‍රමවත් ක්‍රියාපටිපාටිය සහ නිසි කාල කළමනාකරණයක් ඔබ සතුව නොමැති වීමයි.කෙසේ හෝ ඔබ විසින් සකසා ගත් සැලසුම්කරණයට ප්‍රමුඛතාවයක් ලබා දෙන්නේ නම් ඉතාමත් පහසුවෙන් ම ඔබේ කටයුතු නිසි පරිදි ඔබට ඉටු කරගත හැකි වෙයි.

ඒ සඳහා ඔබට ප්‍රයෝජනවත් වන සැලසුම් ඉඟි කිහිපයක් පහත දැක්වේ.

ඔබගේ සැලසුම් තුළ මෙම කරුණු සියල්ලම තබා ගැනීම ඉතාම වැදගත්
ව්‍යාපාරික රැස්වීම්
– විශේෂ හමුවීම්
– ව්‍යාපෘති සාකච්ඡා කිරීමට අවශ්‍ය දින නියමයන්
– ලබාගතයුතු අත්‍යවශ්‍ය ඇමතුම් හා ඊමේල්
– දෛනික මූල්‍ය වාර්තා ආදිය…

සෑම දිනකම ඔබ රැකියාවෙන් ඉවත්වී නිවසට පැමිණීමට පෙර ඊලඟ දවසේ කාර්යයන් එකතු කර මෙසේ ලැයිස්තුවක් සකස් කරගන්න. කාල රාමුවක් දිනපතා, සතිපතා, මාස්පතා වශයෙන් පිළියෙල කරන්න. ඔබට හිමි වැඩ කොටස හා ආරම්භක හා අවසාන වන වේලාවන් සියල්ලම මෙයට ඇතුලත් කරන්න. එය සෑමවිටම සටහනක් ලෙස තබා ගැනීමට මතක තබා ගන්න.
ඔබට වැඩි කාලයක් තුළ වැඩි වැඩ කොටසක් කරන විට ඇතිවන
අතපසුවීම් වළක්වා ගැනීමට මෙමගින් හැකි වේ.

3) පවුලේ අයගේ සහ මිතුරන්ගේ විනෝදාස්වාදය සඳහා කාලය වෙන් කරන්න.

මෙහිදී ඔබේ දෛනික ව්‍යාපාරික වේලාවන් සැලසුම් කරන ආකාරයටම සතිඅන්තයේ ඔබ ඔබේ පවුලේ සාමාජිකයින් හා මිතුරන් සඳහා කාලය වෙන් කරන්න. ඔබට අවශ්‍ය නම් ඊට නිසි සැලසුමක් සකස් කරන්න.
ඔබේ දෙමාපියන්, දූ දරුවන්, සහෝදර සහෝදරියන් සහ මිතුරන් සමඟ දවසක් ගත කරන්නේ නම් ඔවුන් සමග එක්ව කෑමක් පිළියෙල කරන්න. එමෙන්ම විනෝද චාරිකාවක් යාමට සැලසුම් කරන්නේ නම් වඩාත් සුදුසුයි. මෙහිදී ඔබට ඔබේ ව්‍යාපාරික ජීවිතයේ හා පෞද්ගලික ජීවිතයේ විශේෂ අවස්ථා හුවමාරු කරගැනීමටත්, ඒවාහි හොඳ හෝ නරක ද විමසා බැලීමටත් හැකි වන අතර ඔබේ මානසික සෞඛ්‍යේ වර්ධනයටත් මෙය ඉතාමත් උපකාරී වේ.

ඔබේ ජීවිතයේ සමතුලිතතාවය සඳහා මෙම උපාය මාර්ග භාවිතා කිරීමෙන් ඔබේ පැවැත්මට අර්ථාන්විත බවක් එක් කර දෙන අතර ගුණාත්මක කාලයක් ගත කිරීමෙන් එහි ඇති ප්‍රතිලාභ ඔබට නිසි ලෙස භුක්ති විඳීමට හැකිවනු ඇත.

සාරාංශය

වෘත්තියක් හා පවුලක් සමබර කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. ඔබ වැඩ කරන දෙමාපියෙකු වශයෙන්, නිවසේ වැඩ කරන විටදී, රැකියා අවස්ථාවලදී, ඔබේ දරුවන්ට සමග මෙන්ම ඔබේ කලත්රයා සමඟ කාලය ගත කරන විට දී යන අවස්ථාවන් සියල්ලේදීම ඔබට හිමි කාලය නිසිලෙස කළමනාකරණය කිරීමට හැකිනම් කෙතරම් අගේද ? ඒ සඳහා මෙම උපාය මාර්ග ඔබට ඉතාමත් වටිනා අත්වැලක් සපයාවි.

සැකසුම – බිනාලි රාජපක්ෂ

company culture, Development